Friday, April 19, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): බොදුබල සේනා විරෝධී ඉටිපහන් සත්‍යක‍්‍රියාව: විචාරය පිළිබඳ විචාරයක්

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail බොදුබල සේනා විරෝධී ඉටිපහන් සත්‍යක‍්‍රියාව: විචාරය පිළිබඳ විචාරයක්
Apr 19th 2013, 06:55



ආචාර්ය දයාන් ජයතිලක
තුන්මුල්ලේ පැවැත්වූ ඉටිපහන් සත්‍යක‍්‍රියාවේ මම නොසිටියෙමි. මන්ද යත්, මා සත්‍යක‍්‍රියාවන්ට සහභාගී නොවෙන බැවිනි. යම් හෙයකින් එවැන්නකට සහභාගී වෙතොත්, එය ලෝකයේ වෙනත් බොහෝ තැන්වල ජාතිවාදයට එරෙහි උද්ඝෝෂණ කෙරෙන්නා සේ, වමෙන් මෙහෙයවෙන (ලංකාවේදී නම් ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි) සත්‍යක‍්‍රියාවක් විය යුතුය. එය, මේ කියන ප‍්‍රශංසනීය උද්ඝෝෂණයේ සංවිධායකවරුන් වෙත මට දිය හැකි මිත‍්‍රශීලි උපදේශයකි. 70 ගණන් අවසානයේ සරසවි උපාධි අපේක්ෂකයෙකුව සිටිය දී, 'අන්තර් වාර්ගික යුක්තිය සහ සමානාත්මතාව' හෙවත්, 'මර්ජ්' සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වශයෙන්, එම සංවිධානය 1980 ගණන්වල සිංහල ජාතිවාදීන්ට එරෙහිව නැගී සිටි හෝ එසේ නැගී සිටීමට උත්සාහ ගත් ක‍්‍රියාවලිය ගැන සිහිපත් කිරීමේ දී, අප හැම විටකම ඒ සඳහා වෘත්තීය සමිති, ගොවිජන සංවිධාන, දේශපාලන පක්ෂ, ප‍්‍රගතිශීලී පූජ්‍ය පක්ෂය, ශිෂ්‍ය සංවිධාන, කාන්තා සංවිධාන, සරසවි කථිකාචාර්යවරුන් සහ වම සහභාගී කර ගත් බව මට මතකයි. කරුණු එසේ වුව ද, මේ ඉටිපහන් සත්‍යක‍්‍රියාව ගැන මාලින්ද සෙනෙවිරත්නගේ විවේචනාත්මක සටහන මාව භ‍්‍රාන්තියට පත්කරයි. එහෙත්, අනිත් අතට, එය පුදුමයට කාරණයක් ද නොවේ. 2013 අපේ‍්‍රල් 12 වැනි දා 'කලම්බු ටෙලිග‍්‍රාෆ්' වෙබ් අඩවියට ඔහු ලියා ඇති ''බොදුබල සේනා 'බෞද්ධයන්', 'රාත‍්‍රී සමාජශාලා බෞද්ධයන්' සහ මා දුටු 'සත්‍යක‍්‍රියාව''' නැමැති ලිපියේ මෙසේ සඳහන් වෙයි:
''එහෙත්, ජාතික අනුපාතිකයට සමානුපාතික නොවන තරමේ අබෞද්ධයෝ එහි සිටියහ.''
මේ කියමන ආශ‍්‍රයෙන්, ප‍්‍රශ්න දෙකක් පැනනගී: මුලින්ම, අසමානුපාතිකව එහි අබෞද්ධයන් සිටි බව මාලින්ද
දැනගත්තේ කෙසේ ද? එය, ඇස් මට්ටමෙන් ලබාගත් දැනුමක් ද? එසේ නම් එය, ගතානුගතික කෝවක බහා ජාතීන් වර්ග කිරීමට සමාන, තවත් විදිහක අපුල දනවන ආගමික කෝවගත කිරීමක් නොවේ ද? නට්සි ජර්මනියේ යුදෙව්වන්ට තිබිණැ යි එදා සැළකුණා සේ, බෞද්ධයන්ට වඩා දිගටි නාස් අබෞද්ධයන්ට ඇතිවාවත් ද? මෙය ගමන් ගන්නේ කොයිබට ද, නවතින්නේ කොතැනක ද? දෙවැනුව, සාපේක්ෂ වශයෙන් අබෞද්ධයන් වැඩි පිරිසක් ඒ විරෝධතාව තුළ සිටියත්, එහි ඇති වරද කිම? මහජන විරෝධතා, රටේ වාර්ගික හෝ ආගමික අනුපාතිකයන්ට අනුගත විය යුතු ද? පංතිය, කුලය, ගම් පළාත සහ ලිංග භේදය ආදියෙනුත් එසේ සමානුපාතික විය යුතු ද?
ඔහු තවදුරටත් මෙසේ ද ලියයි:
''මූණුපොතට සහ ඉංග‍්‍රීසි වහරන මැද සහ ඉහළ මැද පංතික කොටස්වලට පිටස්තර ජනයා මේ අතර නොවීම මා තුළ ඇති කෙළේ කලකිරීමකි. ඊටත් වඩා, ඒ පිරිස අතරේ, ප‍්‍රචණ්ඩ ආකාරයේ බෞද්ධ විරෝධීන් සහ සිංහල විරෝධීන්…. සිටීම, කලකිරීමකටත් වඩා මාව පත්කෙළේ වික්ෂිප්ත භාවයකටයි.''
නැවතත්, මෙයින් ගම්‍ය කෙරෙන්නේ කුමක් ද? බෞද්ධයෝ (හෝ හොඳ බෞද්ධයෝ)  මූණුපොත පාවිච්චි නොකරති යි හෝ එවැන්නෝ ඉංග‍්‍රීසි කතා කරන මැද හෝ ඉහළ මැද පංතික සමාජයේ නොසිටිති යි යන්න ද? නැතහොත්, මූණුපොත හරහා මුස්ලිම් ප‍්‍රජාවට ගරහන්නේ නම් පමණක් ඔවුන් බෞද්ධයන් වන බවක් ද? මේ පංති නිර්ණායකය, සිද්ධාර්ථ කුමාරයාට අදාළ කරගන්නේ කෙසේ ද?
විශේෂයෙන්ම, යුද්ධය ගැන, සටන් විරාම ගිවිසුම සහ එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝකාලීන නායකත්වය ගැන මා දරණ අදහස් මේ පිරිසේ සිටි ඇතැමෙකුගේ අදහස්වලට සපුරා ප‍්‍රතිපක්ෂ වීමට හොඳටම ඉඩ තිබේ. එහෙත් මාලින්ද කියන පරිදි, එම පිරිස අතරේ ප‍්‍රචණ්ඩ ආකාරයේ බෞද්ධ විරෝධීන් සහ සිංහල විරෝධීන් සිටි බව කෙනෙකුට කිව හැක්කේ මොන පදනමක් යටතේ ද යන්න මට නොතේරේ. ඔවුන් 'ප‍්‍රචණ්ඩ ආකාරයෙන් බෞද්ධ විරෝධීන් හෝ සිංහල විරෝධීන්' වී ද, එසේ නැතහොත්, හුදෙක් සිංහල බුද්ධාගමට දෘෂ්ටිවාදයක් වශයෙන් විරුද්ධ වී ද? මාලින්ද කරන්නේ මේ දෙක එක ගොඩට දැමීමක් ද? හොඳයි, ඒ කාරණය පැත්තකින් තිබුණාවේ. බෞද්ධ විරෝධීන් සහ සිංහල විරෝධීන් වශයෙන් ඔවුන් මොන තරම් 'ප‍්‍රචණ්ඩ' වී ද? 83 මහා සංහාරයේ ඝාතකයන් සේ ප‍්‍රචණ්ඩ වී ද, නැත්නම්, ෂාරුක් ඛාන්ගේ සංගීත සංදර්ශනයට බෝම්බ ගැසූවන් සේ ප‍්‍රචණ්ඩ වී ද, අඩු වශයෙන්, 'ෆැෂන් බග්' සාප්පුව කැඩූවන් සේ හෝ සුළු ජාතීන්ට වචනයෙන් පරිභව කරන්නන් සේ ('හම්බයා', 'ගෝනිබිල්ලා', 'උං මුං අරුං') සහ මුස්ලිම් කඩසාප්පුවලට යන අයට කුණු බිත්තර ගැසූවන් සේවත්, ප‍්‍රචණ්ඩ වී ද?

ඊළඟට මාලින්ද මෙසේ ලියයි:

''මගේ මුස්ලිම් යහළුවා මට මෙසේ ලීවේය: 'නිල ඇඳුමක තියෙන්න පුළුවන් කැතම දේ මොකක් ද? පන්දම්කාර
පොලිස්කාරයෙක්. මං එහෙම කෙනෙක්ව අද දැක්කා. ''මේ 'ඉටිපහන් සත්‍යක‍්‍රියාවට' ඇවිල්ලා ඉන්න හැම එකෙක්ම, එක්කෝ මුස්ලිම්, එක්කෝ කතෝලික, එහෙම නැත්නං දෙමළ…'' කියලා පම්පෝරියට වගේ ඒ පොලිස්කාරයා කියනවා මං අහගෙන….'' මටත් ඒ කතාව ඇසුණි. එහෙත් 'බොදුබල සේනාවට එරෙහි බෞද්ධයන්ගේ' උද්ඝෝෂණයකට මෙතරම් අබෞද්ධයන් සිටින්නේ කෙසේ දැ යි පොලිස් නිලධාරියාට සිතුණි නම්, ඒ ගැන ඔහුට වරදක් කිව නොහැක.''
ඇයි එසේ වරදක් කිව නොහැක්කේ? උද්ඝෝෂණයක නිරත පිරිසේ ආගමික සංයුතිය විමසීමට පොලිස්කාරයෙකුට ඇති රාජකාරිය කුමක් ද? එවැනි ප‍්‍රශ්නයක් මතු කිරීමම ඔහුගේ වරදක් නොවන්නේ ද? අනික, ඒ තීරණයට ඔහු ආවේ කෙසේ ද? හුදු අහම්බයක් වශයෙන්වත්, මාලින්ද ආ විදිහටම ද? ඉස්ලාමීය පූජක තන්ත‍්‍රයකින් පාලනය වන රටක හැර, පොලිස් නිලධාරියෙකු එවැනි ප‍්‍රශ්නයක් මතු කරන රටක්, පොලිස් නිලධාරියෙකු එසේ සිතීම වරදක් නැතැ යි ජාතික තලයේ ඉංග‍්‍රීසි පුවත්පතක ප‍්‍රධාන කතුවරයෙකු සිතන තවත් රටක් ලෝකයේ වෙන කොහේවත් තිබේ ද?
පහත සඳහන් ෙඡ්දය ඒ සියල්ලටම වඩා අපූරුයි:
''….බොදුබල සේනා විරෝධී බෞද්ධයන් වු කලී, 'රාත‍්‍රී සමාජශාලා බෞද්ධයන්' මෙනැ යි කෙනෙක් කීවේය. එය, අපූරු සමීපාර්ථයක් සහ ව්‍යක්ත සන්සන්දනයකි. එහෙත්, ඒ මගින් මිනිසුන්ගේ සමාජ තත්වය, පංතිය, ජීවන රටාව ආදී ප‍්‍රශ්නත් මතු කෙරේ. බෞද්ධයෙකු යනු, සුදු ඇන්දත්, කළු ඇන්දත්, සිල් රෙද්ද ඇන්දත්, ජීන්ස් කලිසම ඇන්දත්, බෞද්ධයෙකු බව සැබෑව. එහෙත්, ඇඳුම සංඥාර්ථවත් ය. හොඳටම සංඥාර්ථවත් ය. ඒ අනුව, මේ පිරිස, බෞද්ධයන්ගේ හරස්කඩක් නොවන බව නම් පෙනෙන්ට තිබුණි.''
බීමතින් ලොරි පදවා මිනිසුන් යටකොට පළා යාමේ වරදකට උසාවියකින් දඩගසා නැති 'රාතී‍්‍ර සමාජශාලා බෞද්ධයන්', බොදුබල සේනා බෞද්ධයන්ට වඩා අඩුවෙන් බෞද්ධ වන්නේ ද යන ප‍්‍රශ්නය පැත්තකින් තිබ්බත්, 'සමාජ තත්වය, පංතිය සහ ජීවන රටා පිළිබඳ ප‍්‍රශ්න මතුකරයි' යනුවෙන් කීමෙන් මාලින්ද හරියටම අදහස් කරන්නේ කුමක් ද? මොන ප‍්‍රශ්න ද? ඇඳුම සංඥාර්ථවත් බව ඇත්ත. එහෙත්, බුද්ධාගම සහ ඊට අදාළ ප‍්‍රශ්න සම්බන්ධයෙන් ගත් විට, 'ඇඳුම හොඳටම සංඥාර්ථවත්' වන්නේ කෙසේ ද? 'මේ පිරිස බෞද්ධයන්ගේ හරස්කඩක් නොවන බව පෙනෙන්ට තිබුණි' යැයි මාලින්ද කියන විට, එසේ පෙනුණේ කෙසේ ද? මතුපිටින් පෙනෙන්ට ඇති දෙය (සංජානනයේ ප‍්‍රතිඵලය) සත්‍යයක් වශයෙන් ගත යුත්තේ ඇයි? මෙය නම්, බුද්ධ ධර්මයට නොපෑහෙන අදහසක්ම නොවේ ද?
මේ කියන කිසිවක් බුද්ධාගමට සම්බන්ධ වන්නේ කෙසේ ද යන්නත්, ඊටත් වඩා, ආගමික උන්මත්තක භාවයකට එරෙහිව පැවැත්වුණු විරෝධතාවක සුජාත භාවයට ඒවා අදාළ වන්නේ කෙසේ ද යන්නත් ඇත්තෙන්ම ප‍්‍රහේළිකාවකි.
මෙය සාධාරණ සහ තාර්කික විචාරයක් බව නොපෙනෙන්නේ එබැවිනි.
* 'බොදුබල සේනාව ප‍්‍රශ්න කරන බෞද්ධයන්' නමින් හැඳින්වෙන ස්වේච්ඡුා කණ්ඩායමක්, බොදුබල සේනාවේ ආගමික අන්තවාදයට එරෙහිව තුන්මුල්ලේ පිහිටි එහි මූලස්ථානය ඉදිරිපිට, දැල්වූ ඉටිපන්දම් අතැතිව සාමකාමී විරෝධයක් දැක්වූහ. එහි දී එතැනට පැමිණි බොදුබල සේනා ක‍්‍රියාධරයන් විසින් පොලීසියේ ද පූර්ණ සහයෝගය ඇතිව එම විරෝධතාකරුවන්ව එම ස්ථානයෙන් පලවා හරින ලදි. මේ සිද්ධිය ගැන, 'නේෂන්' පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ මාලින්ද සෙනෙවිරත්න, 'බොදුබල සේනාවප‍්‍රශ්න කරන බෞද්ධයන්' විවේචනය කරමින් ලිපියක් ලීවේය. ඉහත සඳහන් දයාන් ජයතිලකගේ ලිපිය, මාලින්ද සෙනෙවිරත්නගේ එම ලිපියට පිළිතුරකි. (පරිවර්තක)
2013 අපේ‍්‍රල් 13 වැනි දා 'කලම්බු ටෙලිග‍්‍රාෆ්' වෙබ් අඩිවියේ පළවූ Anti-BBS Vigil: A Critique Of The Critique ලිපියේ සිංහල පරිවර්තනය 'යහපාලනය ලංකා'

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment